Tuesday, July 24, 2012

සමන් අයියා




කිරි මුට්ටියක් වගේ හඳ පායල. සුදු සේල සළුවක් වගේ වලාකුළු වැලක් හඳ සීතල කර කර හඳට උඩින් යනවා. ඊටත් මෙහායින් වවුල්ලු අඹ දඹ රඹ හොයාගෙන උන්ගෙ ඉන්ෆරෙඩ් සෙන්සර් ඔන් කරගෙන එක රෑනට පියබනවා හරියට සරුංගල් අහසෙ පාවෙනව වගෙ. ඇදපු චිත්‍රයක් දියහ චිත්‍රය ඇදපු කෙනා බලන් ඉන්නවා වගේ මමත් ජනෙල් පියාන් වල වැදීගෙන එන හිරිගඩු පිපෙන සීතල හුළං රැලි වල වේදනාව එකතු වෙච්චි අමුතු ප්‍රබෝධයකින් අහස දියහ ලෝබ කමින් බලාගෙන ඉන්නව. ඉස්සර මේ විදියටම ඇද උඩට වෙලා පැය ගාණක් “අත් නිදහස්” කනේ ඔබාගෙන අපි ජීවිතේ බෙදා ගත්ත හැටි මට මතක් වෙනව. එදා නුහුරු හිරිගඩු අද ආයෙ ආයෙත් මගේ ඇගට දැනෙනව. ගතත් හිතත් අතර තියෙන වෙන් වෙන්නේ නැති බැදීම මට දැනෙන්න ගන්නව.  එහෙම දවස් වලට මම තුෂී ගෙන්  “ඔයාට අහස පේනවද රත්තරන්” කියල අහනවා. එයා ඒ කොනෙන්, මම මේ කොනෙන්, අපි දෙන්නම හඳ දියහ බලාගෙන කතා කරනවා. ඒත් කවම දාකවත් මම තුෂී ව හඳට උපමා කරලා නැහැ. ඒ හඳේ ලප තියන හින්ද නෙමයි හ දවසින් දවස වෙනස් වෙන හින්ද.  අද මොනදේ වෙලා අපි වෙන් වෙලා තිබුනත් එදා තුෂිත් එක්ක ගත කරපු කාලේ මතක් වෙනකොට ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙනව. ගතින් අපේ මතක බස් එකට, කෝච්චියට, පන්සලට, ක්ලාස් වලට සීමා වුනත් නොව්නත් හිතින් අපි එකටම ජීවත් වුන ඒ ලස්සන අතීතය ඇත්තටම මේ පුරහඳ පායල තියන ලස්සන නිල් කටරොඩු අහස වගේ මතක් වෙන  හැම මොහොතකම සැහැල්ලුවෙන් පුරවනව.

වටේම අහස උසට අහස නොපෙනෙන තරමට බිල්ඩින් පිරිල. වාහන හෝන් සද්දෙට කන් බීරි වෙන තරං. උදේට මාලබෙන් පටන් ගන්න ට්‍රැෆික් එක එදා වගේම අදත් තියනවා. ගම්පහ මාතර බස් එක නුගේගොඩ හරහා යන පාරෙන්ම මාස හයකට විතර පස්සෙ මම තාත්තත් එක්ක කොළඹ යනව. මාතර බස් එකේ අචල අයියගේ සාඩින් පැකින් මෙතඩ් එක මතක් වෙනව. ඒ කාලේ පන්ති යනකොට අචල අයිය සීට් වල ඉන්න අයට අමතරව පෝලිං තුනක්වත් දානවා බස් එකේ මැදට. මතක් වෙන කොටත් ඇඩෙනවා. හිතේ අලුත් බලාපොරොත්තුත් එක්ක මම සැහෙන්න දුක් විදලත් ලබාගන්න බැරිවෙච්ච හීනයක් පස්සේ තාත්තගේ උදව්වෙන් වෙනස්ම සමාජයකට අඩිය තියන්න යනව.  තාත්තත් වාහන අස්සෙන් අමාරුවෙන් වාහනේ බේරාගෙන ගෙනත් නැවැත්තුව කොළඹ මැද්දෙ තියන ලොකු බිල්ඩින් එකක් ඉස්සරහ. තට්ටු දොළහක් විතර අහස පැත්තට යන්න ටිකක් වටකුරු වෙච්ච බිල්ඩින් එකක් ඒක. පාට පාට බෝර්ඩ් පිරිල වටේටම. ගහක් දෙකක් ඇරුනහම වටේම කොන්ක්‍රීට් තට්ටු අහස බදාගෙන හරියට කෙලින් අතට ගහපු පිට්ටු වගෙ. “දයිය උබට ඩේටින් කරන්න කෙල්ලෙක් සෙට් වේගන එන්නේ. ඊයෙ පෙරේදත් ගියා මචන් අපි ක්ලබින්, උබත් සෙට් වෙයන්. අන්න අර කෙල්ල. උබ අහයි කියල ඉන්නේ, උබ අහපන්.” මාස තුනකට විතර පස්සෙ මට පෝෂා කිව්ව වචන මතකයි. එයා සයිබීරියා. මම කිව්වා “බලමුකෝ බලමුකෝ” කියල. “සිරා කරන්න ඕනි නෑ බන් ඒකිත් එක දන්නවා, දන්නේ නැද්ද ඉතින් රව්මක් දෙකක් දාල ටික දවසකින් ප්‍රශ්නයක් නැතුවම සේපරේට් වෙන්න පුළුවනි” කියල, පැනපු ගමන් මගේ හිතේ තියනදේ අදුන ගත්ත වගේ පෝෂා කියපි. මට ඉතින් කියන්න හිතුන “`කොහොමත් ඕක සිරා කරන්න වෙන්නේ නෑ බොලං, ඔය සක්කර වට්ටම අපේ අම්ම දැක්කොත් මාව ගෙදරිනුත් පන්නනවා කියල.`” එත් මම එක වහගෙන කිව්ව “හරි පොෂා අපි බලමු බලමු” කියල. අනේ අනිච්චන් ඒ පොශාලගේ පොෂ් ඩේටින්. පොඩි ආඩම්බරේකුත් ආව “ශහ් යකෝ ලංකාවත් දැන් පුංචි එංගලන්තයක් වෙලානේ, ඩේටිනුත් නැගල යනවා නේ කියල.”

අඩි පහක් විතර වටේ ලොකු ගහක කදක් කඩේ පොලවෙන් උඩට මතුවෙලා දෙවැනි තට්ටුවේ ස්ලැබ් එකත් විදගෙන කඩේ වහලෙනුත් උඩට නගිනව. සුවිශාලෙට අතුබෙදුනු ගහ හැමදාමත් උදේ හවස රටේ හතර දිබ්බාගෙන් කෝච්චියෙන් කොළඹට යන එන අය දියහ බලාගෙන හුළගට වැනි වැනී හුදකලාව හුස්ම ගන්නවා කියල මට හිතෙනව. දවල් කෑම වෙලාවත් ඉවර නිසා වේටර් අයිය පුටුවක ඉදගෙන නිස්කාන්සුවේ බලාන ඉන්නව. තාත්ත නැති දවසට ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන්න කොටුවට එන හැමදාකම වගෙ මම මේ කඩ පේලියට ගොඩ වෙනවා. වේටර් අයිය සමන් මාව දැක්ක ගමන් පුටුවෙන් නැගිටලා “ආ සර් මොනවද අද කන්නේ” කියල අහනව. “මොනවද බං අයියෙ ඉතින් වෙනද කන පරාටේම තමයි” මම හිනාවෙවී කියනව. මිනිහත් සිරියාවන්ත හිනාවක් දාගෙන ඇතුලට ගිහින් පිගානක පරාට දෙකයි, බිත්තර රොටියි කපල මිරිස් හොද්දත් එක්ක පරිප්පු ටිකකුත් පදමට දාගෙන එනව. ලගදි දවසක ඔහොම කකා ඉන්නකොට මිනිහ මගේ ඉස්සරහින් ඉදගෙන හෙන අප්සට් එකෙන් පාර දියහ බලන් ඉන්නව. මම ඇහුව මොකද සීන් එක සමන් අයිය කල්පනා කරන්නෙ කියල. “නෑ මම මේ කල්පනා කර කර ඉන්නේ උදේ හවහ මෙච්චර ගෑණු ළමයි යන එන තැන ඉන්න මට කවද නං කෙල්ලෙක් හරි යයිද කියල” සමන් අයිය අහිංසක හිනාව දාගෙන කියවගෙන යන්නව.  “එතකොට අර පීපල්ස් පාර්ක් එකේ පොත් කඩේ ගෑණු ළමයට මොකද උනේ.” මාත් ලා හිනාවක් දාගෙන අහනවා. එයා ගියා සුමානෙ දවසක් මේ කඩේ ඉස්සරහැදීම මට බැන්න මහත්තයො “තමන්ගේ තත්වේ දැනගෙන වැඩ කරනව, ඕනේ නැති දේවල් වලට එන්න ලෑස්තිවෙන්න එපා අයිසෙ කියල.”  “තාත්තට අසනීප උනායින් මම මේ කොළඹ ඇවිත් චර්ටර් උනාට ගමේ දුප්පත් උනත් හොදට ජීවත් වෙච්චි පව්ලක කොල්ලෙක්. සිගරට් හාරසීයක් විතර අතින් කන්න එන අයට දුන්නත් සිගරට් එකක් බොන්නේ නෑ සර් මම. හම්බ වෙන සල්ලි වලින් ගෙදරට ගාණක් යවල ඉතුරු වෙන ටික මම නාස්ති කරන්නේ නැහැ පොතේ දානව. කැකිරාවෙන් මෙහෙ මාකට් එකට එන ලොරියක මම අඩුවට මල්ලිට එළවලු යවනවා එහෙ විකුනන්න.” සමන් අයිය කියනව. මට මාර සතුටුයි “ශා මරුනේ සමන” මට කියා වුනා. “ඒත් මහත්තයො මෙහෙ ළමයි රැවටෙන්නෙ පිට ඔපේට, කමක් නැහැ ඒ ඒ ළමයාගෙ කැමැත්ත. අපිටත් දවසක හද පායයිනෙ සර්” සමන් අයිය අහස දියහ බලාගෙන කියනව. “සමන් අයියට වරදින්නේ නැහැ අයියෙ” පිටට තට්ටුවක් දාල මම කිව්ව. මටත් ඉන් එහා කියන්න දෙයක් නැහැ, තාත්ත කන්න කියල දීපු සල්ලි වලින් බිල ගෙවල රුපියල් විස්සකුත් සමන් අයියගේ අතේ තියල තාත්තට පින් දීල කඩෙන් එලියට බැස්ස. හවසට මූසල වැහිබර කොළඹ අහස සමන් අයිය වැඩ කරන කඩේ ගහ උඩට කඩා වැටෙන්න වගෙ බරවෙලා.

“මලානික වැහි බින්දු වැටිල, දූවිලි පැහැ වැටුණු කෝච්චිය මත ලස්සන රටා මවාවි. තවත් පැය කිහිපයකින් කොළඹ අදුරෙන් ගිල ගනීවි. සමන් අයිය පාන්දර වෙනකන් නිදි නැතිව කඩේ වැඩ කරාවි. රෑට නිදි නැති කොළඹ තෙරක් නොදකින ජීවිත මලානික වැහි පොදට අහුවෙලා පාට පාට ලයිට් අතර  දියවෙලා යාවි. රට වටේ අහිංසක කුරුල්ලො කිරිල්ලියො බකමුණු සද්ද අතරේ නින්දෙන් ඇහැරිලා එහෙන් මෙහෙන් වැස්සට තෙමුණු හිරිගඩු පිපුණු තටු සල සලා කිචි බිචි සද්දෙන් මුමුනාවී.” කෝච්චියේ එන ගමන් මට රේල්පීලි අතරෙත් සමන් අයියගේ දුක්බර අදිෂ්ඨානය පිරිල ඉතිරිලා යන මුණ පේන්න ගත්ත. මොකක්දෝ දුකක් හිත වෙලා ගන්න අතරේ “නැහැ උට වරදින එකක් නැහැ” මගේ හිතට ආව. “මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. පොල්ගහවෙල දක්වා දාවනය වෙන.....” මම දුකින් කෝච්චියෙන් බැහැගත්ත. තුෂිලගේ ගෙදරත් පහුකරගෙන බස් එකේ ගෙදර ආව. අදත් හ
 තියේවි කියල හිතාගෙන ඇදට වැටුන. 




Monday, July 9, 2012

අහිංසකයෝ


ඇය ඉතා ප්‍රිය මනාපය, සුන්දර ගතිපැවතුම් ඈ ගැටෙන සමාජයෙන් ඇය උසස්තලයකට ගෙන ඒමට සමත්ය. ඇගේ අති සුන්දර කටහඩ මා සිත් ගත්තේ මීට අවුරුදු කිහිපයකට පෙරය. නමුත් මා ඇගෙන් බලාපොරොත්තු නොවූ දෙයක් අන්තර්ජාලයේ ගැටෙද්දී මම දුටුයෙන් මා කලබල වුනා යයි කීවොත් නිවැරදිය. "Love Story ගැන කතා කර කර සිටි ඇය මෙන්න ජීවිතය ගැනත් කතා කරනවා" මම මටම කියා ගත්තේය. ඇය නමින්  Taylor Swift නම් විය. “No matter what happens in life, be good to people. Being good to people is a wonderful legacy to leave behind.” මට තේරෙන විදියට එය "ජීවිතයේ කුමක් සිදු වුවත් මිනිසුන්ට හොදම දක්වන්න, එය ඔබ ජීවිතයේ ඉතිරි කර යන විශ්මිත උරුමයකි " යන්නයි. අවුරුද්දක් දෙකක් වැඩිමල් වුනද ඇය ඇමරිකාවේ නොයිපදී ලංකාවේ ඉපදුනා නං යයි මට සිතුනි. 
ජීවිතයේදී අනිත් අයට කරුණාව දක්වන්න නැතහොත් සමාජ සේවයට ගොස් සිදුවූ ඇබැද්දි මටනං එමටය. "පුතේ කෙනෙක්ට උදව්වක් කරනවා නං හරි සලකනවා නං හරි හොදයි, එත් එකෙන් අහන්න වෙන කතා ටික ඉවසන්න පුළුවන් නං විතරක් ඒ දේවල් කරන්න, නැත්නං නොකර ඉන්න."  ඒ වගේ වෙලාවට තාත්ත මට කිව්ව දේවල් මතක් වෙනව. මූණ සීරියස් විදියට හදාගෙන, කල්පනාවට බර වෙලා එයා එහෙම කියන්නෙ එයාගේ අද්දැකීම් වලින් කියල මට හිතෙනේව. තාත්තගෙ පුතානෙ කියල මම හිත හදා ගන්නව. හොදම වෙලත් ජීවත් වෙන්නත් බැහැ ඒත් තමන් කරන දේ හදවතින්ම කරලා හිතට එකගව මිනිස්සු ආශ්‍රය කරලා හදවතින්ම මිනිස්සුන්ට ආදරේ කරලා ජීවත් වෙනකොට මොකක් හරි හේතුවකින් තවත් කෙනෙක්ගේ තරහට හේතු වුනත් ඒ තරහ කෙටි කාලීනයි කියල වගේම, කට්ට කමින් ආත්මාර්ථ කාමීව ලෝකෙට හොද මූණ පෙන්නගෙන ජීවත් වුනොත් එකේ ප්‍රතිපලය ගොඩක් දරුණුයි කියල මම ඉගෙන ගත්තෙත් මගේ තාත්ත මට උදාහරනත් එක්ක පෙන්නලා දීපු කරුණු වලින්. ජීවිතේ ආපහු මුල ඉදල මතක් කරගෙන එද්දි මට තාත්ත ගැන පුදුම තරං ආදරයක් එන්නෙ. ඒකනං මොනදේ වුනත් සදාකාලිකයි. 
සුනිමල් අන්කල් සමග මාත් මැස්ස අයියාත් දොඩමලු වූ අවස්ථාවක සුනිමල් අන්කල් කියාදුන් පාඩම මට අදටත් මතකය. බුලත් විටක් අපිටත් පිළිගන්වා ඔහු කතාවට වැටුණි. එය ඔහුට ඔහුගේ මිතුරෙක් ගැන කලකිරුණු අවස්ථාවකි. "පුතේ මිනිස්සු කට්ටකම කියල හිතන් ඉන්නේ එක හරි නුවණක් කාර කමක් විදියට, හොද මනුස්සය කවදාවත් කට්ට කන් කරද්දී එකට මොකුත් කියන්න යන්නේ නැහැ අහගෙන ඉන්නවා විතරයි. ඒත් අපි දන්නවා මේ කට්ට කම කියල. අපි ඒ මිනිස්සු අදුන ගන්නව වගේම ඒවගේ මිනිස්සු ටිකෙන් ටික ඈත් කරනවා අපේ හිතෙන් වගේම ජීවිතයෙන්. එහෙම අන්තිමට බලාගෙන යද්දි පුතේ කට්ටකම කියන්නෙ මෝඩකම." සුනිමල් අන්කල් බුලත් වලට රතු වූ තොල් වලින් එලියට ආ ඒ වදන් මා මනසේ රැදුනේ අන් කිසිවක් නිසා නොව එය සැබවින්ම මටද වචනයට නැගීමට නොහැකි හැගීමක්ව තිබුණු නිසාය. සුනිමල් අන්කලුත් පට්ට කතා කියනව නේ.එලියට පැමිණි විට මැස්ස අයිය කියාගෙන ගියේය. එය ඔහුගේත් සිත් ගත් බව මුනෙන් දිස්විය. 
ප්‍රේමරත්න සර් කියන්නෙ උසස්පෙළ කරන කලේ මගේ පන්ති බාර ගුරුතුමා. එතුමා ගැන කියනවනං පොතක් උනත් ලියන්න පුළුවන්. ඒ තරමට එතුමා අපිව යාලුවෝ වගේ ආශ්‍රය කලා. ඉස්සෙල්ල කිව්ව විදිය  කට්ට මිනිස්සු ගැන, ලෝකෙට එකක් පෙන්නන් ඉන්න මිනිස්සු ගැනම එතුමා අපිට කිව්ව කතාව ලියන එක එතුමාට අපහාසයක් නොවේවා කියල හිතල මම ලියන්නන්. මොකද අපි කියල කිව්වේ හතළිහකට අඩු කොල්ලෝ විතරක් හිටපු පන්තියේ තමයි මේ කතාව කිව්වේ. "පුතේ උබල දන්නවද හන්සයගෙයි මොනරගෙයි වෙනස?" අපේ කට්ටියත් සර් ට උනත් දෙවැනි වෙන්න කැමති නැති නිසා කියනව " ඔව් සර්" "හංසයා සුදු  පාටයි, මොණර පාට පාටයි" "හංසයා තිළිනයගේ කෑල්ල වගේ මොණර නුවගේ කෑල්ල වගේ" සර්ටත් හිනා. සේරම අහන ඉදල සර් කියනව "කොල්ලනේ හංසයා පීනන කොට හරි ලස්සනයි, ඌ වතුරෙන් කිරි වෙන් කරලා ගන්නව, ඒ වගේම මොණරත් ලස්සනයි. හැබැයි මොණර පිල් විදාගෙන නටනකොට ඉස්සරහින් ලස්සනයි වගේම ඌ දන්නේ නැහැ ඌ පිල් විදාගෙන නටනකොට අදොමුඛය පිටිපස්සෙන් එළියේ කියල." නැවතිල්ලේ හිතල බලනකොට ඒක ඇත්තම ඇත්ත නේ කියල අපිටත් හිතුන. "ඉතින් අදෝමුඛය එළියේ දාගෙන නටන මිනිස්සු ගැන තරහ ගන්නවත් වයිර හිතන්නවත් ඕනි නැහැ පුතේ අපි දියෙන් කිරි බොන හංසයෝ වෙලා ලෝකෙට පෙන්නමු කියල" සර් එදා අපිට කිව්ව පාඩම අපිට ආර්ථික විද්‍යාවේ වෙළදපොල ආර්ථිකය පාඩමට වඩා වටිනවා කියල හිතෙන්නේ අපි එහෙම මිනිස්සු එක්ක ගැටිලා ලබපු අද්දැකීම් වලින් පස්සේ දැන් තමයි. සර්ට සියක් ආයු ලැබෙන්න ඕනි අපිට ජීවිතේ කියල දුන්නට.
කන්ද කෙන්ද කරනු පිනිස: ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය (Youtube Link) 

කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා 
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා 
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා 
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා


ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා 
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා 
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා 
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා 


කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී 
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී




Wednesday, July 4, 2012

පැන්, මල් සමග ගව් හත

මිතුරන් පිරිසක් අපේ නිවසට පැමිණ මොහොතක අප කෙල්ලන් පිළිබද කතා කරනු යන්තමින් කන වැකුණු අම්මා මට කී වදන් මට තාමත් මතකයට නැගේ "පුතේ උබ කවමදාවත් ගැණු දරුවෙක් රවට්ටන්න එපා.. මේ ඉන්නේ උබේ අම්මයි සහෝදරියි කියල සලකපන්.." මගේ දැනුමේ හැටියට මා අදවන තුරු එසේ කෙල්ලන් රවට්වා නැත. නමුත් මේ වනතුරු මට පෙම්වතියක් නොසිටද නැත. ඒ නිසා පිවිතුරු ආදරය ගැන කතා කරන්නට මට ප්‍රයෝගික දැනුම මෙන්ම සදාචාරමය අයිතියත් ඇතැයි සිතමි. 
     
කුඩාකල මවට පියාට හා මා ලගින් සිටි මා ආදරය කල කිහිපදෙනා වයසින් වැඩිවනවාත් සමගම  ගණනය කර නොහැකි තරමට වර්දනය වී ඇත. නමුත් අවුරුදු විසි ගණනක් වුවද අදත් මා අම්මා තාත්තා මෙන්ම ආච්චි සීයා තුරුලේ ගත කරන්නට මහත් ලෙස ප්‍රිය කරමි. එසේම මම ඔවුන් තුරුලේ අදටත් හුරතල් වෙමි. මා යම්කිසි ගැටලුවකින් හිතේ අසහනයෙන් සිටින විට ඔව්න් තුරුලේ සිටීම මට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. ඒ ඔවුන් මට දක්වන ආදරය හා මා ඔවුන්ට දක්වන ආදරය අතර ඇති හිඩැසක් නොමැති සම්බන්දය නිසා විය යුතුයි හැගේ. 

මා ලද අත්දැකීම් හා සමාජය තුල අත්විදි හා දැක ඇති දේත් සමග පිරිමි දරුවෙක් තමාගේ ජීවන සහකාරිය ලෙස සොයන්නේ තම මව වැනිම ලක්ෂණ සහිත ගෑනු දරුවෙකුය. ගැහැණු දරුවෙකු තමාගේ ජීවන සහකරු ලෙස සොයන්නේ තමාගේ පියා වැනිම ලක්ෂණ සහිත පිරිමි දරුවෙකුය. (එය ඔබේ අද්දැකීම් සමගද සසදා බලන්න.) නමුත් තරුණ සිත සොයන ඒ වටිනාම දෙය සොයන්නේ තමන්ගේ දෘෂ්ටි සීමාව තුල පමණක් යයි විටෙක හැගේ. එනම් බාහිර පෙනුමෙන් පමණි. බොහෝ පිරිස තම තරුණ කුලුදුල් පෙම ලප් තැනම ලොප් කර ගැනීමටත්, ඒ ප්‍රේමය තුලම දුකෙන්, සිත් තැවුලෙන් කාලය ගත කිරීමටත් ප්‍රදාන හේතුව මෙය යයි මට තවත් විටෙක හැගේ. 


එසේ මෙසේ කෙසේ කීවත් ආදරය සුන්දරය. ඒ තුල හිත කිති කවන හැගීමක් මා මෙන්ම ඔබත් විද ඇතුවාට සැක නැත. ආදරය ගැන කිසිත් නොදත් කාලයේදී පවා මැය මගේ ලගින් හැමදාම සිටියානම් යයි සිතුණු අවස්ථාවන් මගේ ජීවිතය තුල නම් තිබුණි. ඇස් ඉදිරිපිටම බොදවනු ඒ හීන හා හිතයටින් නොදැනුවත්වම ආ වේදනාවන් මෙන්ම ඒ දුක තුරන් කිරීමට සෙවූ පිළියම් තුල මා අසරණ වූ ආකාරය පීදෙන්නට කලින් ඵල හටගත් ගසක් මෙන් යයි දැන් යම්තාක් මේරු මගේ හිතට හැගේ.  එහෙත් එකල අදමෙන් සිතීමට නොහැකි වීම ගැන පසු තැවිල්ලක්ද මා හිත තුල ඇත. 

      
කෙසේ වෙතත් මා විදි ආදරයට නිග්‍රහ කිරීමට තරම් මා අමන නැත. වික්ටර් රත්නායක මහතා දිනක් බණ්ඩාර දිසානායකයන්ගේ සක්‍යා ආයතනයට පැමිණි මොහොත මට සිහිපත් වේ. ඔහුගේ එතරම් ජනප්‍රිය නොවූ ගීයක් අපවෙත ඉදිරිපත් කළේය. එය යව්වන ආදරය ගැන සටහන් වුවකි. එහි එහි එක්තරා පද පේළියක සටහන් වී තිබුණු අයුරින් යව්වන ආදරය සොයන්නන් තුල සපුරායුතු සුදුසුකමක් ඇත. සිනා මල් වට්ටි හතක් ඒක අතකින් ගෙන අනිත් අතින් කදුළු පැන් කෙන්ඩි හතක් ගෙන ගව් හතක් ඇවිදින්න පුලුවන්නම් පමණක් යව්වන වියේදී ආදරය පටන් ගත්තට කමක් නැත යන්නය. රත්නායකයනි, දිසානායකයනි මා නම් ඒ වනවිට සුදුසුකම් නැතුවම පියවර තබා අවසානය. මතකයන් හිත කිටිකවන නමුත්, වේදනාවන් ගෙන එන නමුත් එය මා සෙවූ සෙනෙහස නොවන බවනම් වැටහුණි. එහෙත් එක්ව විදි ආදරය නම් සුන්දරය. තනිකමක් පාළුවක් අහලකවත් නැත, ජීවිතය බෙදාගැනීමට මගේම කෙනෙක් මගෙ ලග සිටියාය, ඇය මාව වෙනස් මිනිසෙක් කළාය. යව්වනයේ වෙනත් කොල්ලන් යොමුවන සියලුම දුරාචාර වලින් මා මෑත් කර තැබීමට ඇය වෙහෙස විය. අෂ්ට ලෝක දර්මයන්හිදීම ඇය මාලග සිටියාය. මාත්‍ එසේමය. නමුත් අපි මැවූ හීන වයසට වඩා වැඩිය. අහසෙ මාලිගා හදන්න හීන මැව්වද අපි තවමත් පොළවෙ පැලක් අටව ගන්නවත් සුදුසු නැති බව වැටහුණි. කෙසේ වෙතත් මේ වන විට සියල්ලෝම සතුටින් හෝ දුකින් හෝ විසිරගොස් හමාරය. ඒ ආදරය තුල මා ජීවිතයට එකතු කර ගත් අද්දැකීම් පිළිබද මම වේදනාවෙන් වුවත් සතුටු වෙමි. 
       
රත්නායකයන්ගේම අදුර බිදින්නට ගීතය මා මනසට ඇතුළුවන්නේ එය  ජීවිතයට සැබෑ අරුතක් පසක් කර දුන් හෙයිනි. 

Adura Bidinnata (Youtube LInk)
අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දැතෙහි දසගිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යවුවන විය පියවර තබනා සද
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යලි පැමිණී ඇත
කරුමෙකි පැවසෙන්නේ
එපමනයි.. පිලිසරණය වන්නේ


යව්වන ආදරය ගැන මට පැවසීමට ඇත්තේද එපමණකි. දුක් කරදර අපි හැමටම පොදුය. එසේම ඒ සියලු දේ මැඩගෙන ජීවිතේ ජයගැනීමට උත්සහ දැරීම කලයුතුමය. අම්මයි තාත්තයි ඇකයේ අදටත් මා ආදරණිය චූටි පුතුය, ආච්චි සීයා තුරුලේ අදටත් මම පොඩි පුතුය, සහෝදර සහෝදරියන් අතරේ මා හුරතල් සහෝදරයාය. නෑදෑයන් හිත මිතුරන් අතරේ මම හුරතල් පුතාය. යාළුවන් අතරේ ෆිට් බුවාය. නොවෙනස් එය මට හොදටම ඇතිය. 

දැන් ඉතින් වෙලාවක් බලල කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ කාන්තාවක් කියන සින්දුවක් වුනත් ප්‍රියානි ජයසිංහ මහත්මිය ගායනා කරන කදුල නිවන්නන් සින්දුව තමයි. ඒකට වෙලාවක් එයිද කියන්න දන්නෙත් නැහැ. ආව නැතා ඉන්න ටිකේ සතුටින් ඉන්න තමයි කල්පනාව.. :P 
මේක කියවන ඔබ ගොඩක් දෙනාගේ යව්වන අදර කතාව මීටම සමාන විය හැකිය. පරීක්ෂණ සංඛාලේඛන අතරිනුත් ඒය සහතිකය. ඒ නිසා දුක් වෙන්න උවමනා නැහැ. We all are in same Boat.. :P







Kadula Nivannam (Youtube Link)
කදුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

මල් පුදින්නේ දෑගිලි අතරේ
තෑලීපෙලී මියෑදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ
සෙනෙහෙ ලබන්නයි
හිත රිදවා හඩවන්න නොවේ

සද පායන්නේ හිරු නෑති ලෝකේ
ඝනදුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ
අදුරේ තනි වු හිතකට එළියක් ලෑබගන්නය