Thursday, August 27, 2015

දැවෙමින් ලියම්....

ඔබ මෙන්ම කුඩා වුන් කිහිප දෙනෙකු අතරින් මම ඔබව තොරාගන්නා විට ඔබ මා අතෙහි ගුලි වූ දවස මට අද මෙන් මතකයෙහි ඇත. මා පොත් බලමින් හිදින රෑ යාමයෙහි මා ලග හිදිමින් මගේ පොත් බෑගයත් සමග සෙල්ලම් කල ඒ අතීතය අද මට මෙනෙහි වේ.. සියලු දුක් කදුලු මත මා තැවෙමින් සිටින විට කිසිවක් නොදත් ඔබ, මා අත උනුසුමින් ගුලි වූ දින ගනන අපමනය.. මා දෙස බලමින් මා සැනසූ දින ගනන අපමනය.. ඔබ මා සැනසූ බව ඔබ නොදන්නවා ඇත. නමුත් එය සැබෑවකි. කිසිදා ඔබට මා මෙසෙ ලියනු ඇතයි මාද උපකල්පනය නොකලෙමි. ඔබ කිසිදා මෙය නොදකිනු ඇත.. කෙසේවත් මෙය කියවීමට ඔබට හැකියාවක් නොතිබුනි. නමුත් මා අසල හිද සියලු අවස්තාවන්හිදී මගේ සිත හදුනා ගැනීමට ඔබට හැකි විය.. යමක් ඔබට වුවමනා විට එය මට දැනීමට සැලස්වීමට ඔබට හැකිවිය. අන් අය කියන දේ කුමක් වුවත් මා කියනා දෙය හදුනා ගැනීමට හා එය එසේම ඉටු කිරීමට ඔබ මා කෙරෙහි විශ්වාසය තැබීය.. ඔබට බෙහෙත් කරන අවසාන මොහොතේද ඔබ එසේම විය.. මා කෙරේ ඒ තැබූ විශ්වාසයට මම සදා ඔබට ආදරය කරමි... අද මා විශ්වාස කිරීමට ඔබ නැත.. මගේ උනුසුමෙහි දැවටීමට, කැමති දෙයක් ඉල්ලා ගැනීමට, මා දෙස අහින්සක මුහුනින් බලා සිටීමට ඔබ නොමැත, මගේ සිත තැවෙන වෙලාවට මා කා හට නම් පවසම්ද? ඔබට මනුස්ස බවයක් ලැබීමට පතනා,  කිටී කියා ඔබ ඇමතූ මා දයාන්... 

Thursday, June 4, 2015

සඳුන් සිලිලයි ජීවිතේ


අපේක්ෂා ඉෂ්ට වීම මත අපේක්ෂා නැවත ස්තාපනය වීම සිදුවේ. බලාපොරොත්තු දල්වාගත් දෙනෙතින් සියල්ලෝම ශාලා ගතව ඇත. උසුළු විසුල් හඩවල් මැද ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නෝද බොහෝය. මම උපේක්ෂාවෙන් බලාසිටියෙමි. කොටින් කව්රුන්ද, සිංහයන් කවුරුන්ද, ඒ සියල්ල මැද නරින් කව්රුන්ද සියල්ලන්ටම යටවූ මුවන් කවුරුන්ද යන්න ගැන මම අවබෝදයක් ලබාගනිමින් උසුළු විසුලුවෙන් සිටියෙමි. සොදුරු ඇස් දෙකක් මගේ ඇස් අතර නතර විය. සියල්ලන් නිහඩ වූ සේයාවකි. උසුළු විසුළු හඩවල් කන් වැකෙන්නේ නැත. තත්පරයක කාලය කෙතරම් වෙලා ගතවීදයි අවබෝදයක් නැත. මින් පෙර නොදුටු නුහුරු ඇස් මගේ දෙනෙත් අතර නතර වූ නිමේෂය තුල කුමක් හෝ වෙනසක සේයාවක් විය. ඒ ඇගේ පළමු හමුවීමයි. හමුවීමට කිසිදු ඉඩක් නොතිබූ, අහම්බයක්ම වූ තැන් කිහිපයකදීම ඒ ආදරණීය ඇස් මට මුණ ගැසුණි. කෙසේ හෝ මට ඇය මුණ ගැසුණි. ජීවත් වීම තුල කාලය තරම් වෙනත් ගැටලුවක් නැත. කාලය සියල්ලෙහිම තීරණාත්මක සාදකයද. මම තවමත් සොයමින් සිටිමි.
ආගමික, සංස්කෘතික වෙනස්කම් මම තැකීමක් නොකරන මුත් වෙනත් බැදීම් තුල ආදරයක් කිසිදා පතා නැත. එවැනි බැදීම් ඇතිවෙතැයි හැගෙන සෑම අවස්ථාවකම මම කල්පනා කාරී වී ඇත. ජීවිතයේ එවැනි අවස්ථා තුල ම බලාපොරොත්තු අත හැර අනෙක් පාර්ශවයට සුබපතා වේදනාව යටපත් කර තනිව වේදනා විදදරගත් අවස්තා අත්වින්දෙමි. ඊටද හේතු වුයේ මා පෙර අත්විදි වේදනාකාරී අත්දැකීම් තවත් කෙනෙකුට නොලැබිය යුතුයයි මා විශ්වාස කල නිසාය. කෙසේ හෝ මට ඇය මුණ ගැසී අවසානය. වේදනාකාරී අත්දැකීම් දිනෙන් දින මතුවෙමින් විදිමින් සිටිමි. වේදනාව යන්න සමනළ සන්දවනියේදී වදීෂට අනුව.

“හුග දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි, මේ කලා නිර්මාණ කලා කරුවන්ගේ හදවතට කොහොමද එන්නෙ කියන එක.. මේ මිහිරි ගී තනු, වචන කොහෙන්ද එන්නෙ කියන එක... බේතෝවන් කිව්වේ මේ සියල්ල පැමිනෙන්නෙ දෙවියන්ගෙන් කියල..එත් මම නං කියන්නේ මේ සියල්ල පැමිනෙන්නෙ වේදනාවෙන් කියල...මුතු ඇටයක් බවට පත්වෙන්නෙ බෙල්ලෙකුගෙ බෙලිකටුව තුල සැගවුන වැලි කැටයෙ වේදනාව.. ඔවුහු ගී ගයමින් වේදනාව උගනිතියි කිව්වේ ශෙලී..”


මෙය කළා කරුවකුට පමණක් නොව සියලුම නිර්මාණ කරුවන්ට අදාළයයි මට හැගේ. වේදනාව මත සාර්ථක වූ චරිත අසා කියවා දැක ඇත. හදාන්නට ගත් දෙමවුපියන්ට මුදල් නොමැති කමින් උසස් අද්‍යාපනය කඩාකප්පල් වූ Steve Jobs එතෙක් මෙතෙක් තුල බිහිවූ විශිෂ්ටතම ජංගම දුරකථනයේ නිර්මාපකයය. වේදනාව ඔහුව කොතෙක් දුර ගෙනාවද යන්න Stanford විශ්වවිද්‍යාලයෙ කල කතාවෙන් ඔහු විසිනම විස්තර කර ඇත. එයද එක්තරා ආකාරයක වේදනාවකි.
එය එසේනම් මා හදවතේ වේදනාවන්ද අපේ සාර්ථකත්වයෙ පීඩනයට යොදාගැනීම හැර වෙනත් විකල්පයක් මට නොමැත.

ඇය ජීවිතය තේරුන් ගත් තැනැත්තියකි. මනා ජීවිත අවබෝදයක් මෙන්ම, යම්තාක් සමාජ අවබෝදයක්ද මේවනවිට ඇත. දගකාරය, කෙලිලොල්ය. කොටින්ම කිව්වොත් මට මෙන්ම පිස්සුය. සිතුම් පැතුම් තුල මා සිතන දෙය ක්ෂණයකින් අවබෝද කර ගත හැකි වෙනත් කිසිදු කෙනෙක් මට මේ බවයේදී හමුවී නැත. මටත් ඇගේ සිතුවිලි හදුනා ගැනීම ඇයටත් වඩා හොදින් කළහැකි වීම මටත් පුදුමය ගෙන දෙන්නක් වී ඇත. ඇගේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන බව පෙන්වීමට උත්සහ කලද එය එසේ නොවන බවත් මට වැටහී අවසානය. මා විදින වේදනාව මටත් වඩා රහට ඇය විදිමින් ඇති බව මට ඒකාන්ත ලෙසම පැහැදිලිය. නමුත් මේ සමාජ ක්‍රමය තුල අපි අසරණ වී ඇත. එය කෙසේ වෙතත් අන්සතු සිත් බිදීමේ පාපයට වරද කරු වීම මට උරුම වී අවසානය. මේ සමාජ ක්‍රමය තුල අපට එක්වීමට මා විකල්ප සොයන විට එම විකල්ප වල අඩුපාඩු තෝරා බේරා ගන්නා ආකාරය අනුව ඇගේ මානවහිතවාදී බව මම අවබෝද කර ගත්තෙමි. හොද මිනිස්සුන්ට කවදාවත් හොදක් මේ සමාජය තුල බලාපොරොත්තු විය නොහැකි බව ඇය අවබෝද කර ගනු ඇත. නමුත් මා මෙන්ම ඇයද එතැනදී අසරණ වනු ඇත.. වේදනාව හදවත පාරනු ඇත. 

GLADIATOR ප්‍රේමය වේදිකා නාට්ටයේ රන්ජිත් ගෙ දෙබසක මේ සමාජක්‍රමය, ප්‍රේමය හා බද්දව මෙසේ විග්‍රහ කර ඇත..

“මේක gladiator සටන් බිමක්, පලිහ අසිපත නැතුව මෙතන ජීවිතයක් නෑ...
මගේ අසිපතේ ප්‍රචණ්ඩත්වයයි මගේ ජීවිතේ පැවැත්ම... 
මම මිනීමරන තරමටයි මගේ ජීවිතේ පැවැත්ම....
මෙතන තියෙන්නෙ මරණය විතරයි, ජීවිතයට මෙතන ඉඩක් නෑ... 

අපි ඉන්නෙ මහා කාලකන්නි සමාජයක...
එකිනෙකාගෙ මස් කන හයින සමාජයක...
තමන්ගෙ අසල්වැසියාගෙ ලේ රහට දිව දික්කරන, ඒ මස් පුච්චගෙන බැදගෙන කන හයින සමාජයක...
හර්දසාක්ෂියට මෙතන ඉඩක් නැහැ...
හර්දසාක්ෂිය මරන්නේ නැතුව මෙතන ජීවිතයක් නෑ...

අපේ ප්‍රේමය සත්ත්‍යක්...
එත් ඒ ප්‍රේමය නඩත්තු කරන්න බෑ... 
පස්මහ බැලුම් බලන්න පුළුවන් උනා නම් මම මේ රටේ ඉපදෙන්නෙ ගැඩවිලෙක් වෙලා... 
ඇස්, කන්, නාස් නැති මොලයක්, පිටකොන්දක් නැති ගැඩවිලෙක් වෙලා...”

එහෙත්, ඇයවත් මාවත් ගැඩවිලුන් නොවන්නේය, ඇයටත් මටත් පිටකොන්දක් හා මොලයක් ඇති, ඊටත් එහා ගිය හර්දසක්ෂියක් හා හදවතක් ඇති බව අපි දෙදෙනාගේම අවබෝදය තුල ගම්‍ය වී ඇත... මහ මෙරක් ලෙස හිතින් බර දරා දුරස් වෙනවා හැරෙන්නට වෙනත් ප්‍රතිකර්මයක් අපට ඉතුරුවී නැත... එහෙත් අපි නොනැවතී ගමනේ යෙදී සිටින්නෙමු...

ඇය මා ලග නැත. තාක්‍ෂණය කෙතරම් දියුණු වුවද අපි තව තවත් දුරස් වෙමින් මානසිකව තොරතුරු හුවමාරුවේ යෙදී සිටිමු... ඇය ගැන මතකයට නැගෙන අවස්ථා ගණනාවක් දවසකට අමාරුවෙන් ගෙවාදමමි. පෙර දිනක මම විහිළුවක් ලෙස ඇයට පැවසූයේ ආශ්වාස කරන සෑම විටකම හා ප්‍රශ්වාස සෑම අවස්ථාවකම මට ඇය මතකයට නැගෙන බවයි. දැන් එය ඇස් මානයේ සැබෑවක් වී ඇත. සිත් දෙකක් මෙතරම් ලන්වෙනු මම ප්‍රබන්දයකවත් අසා දැක නැත. ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබෙන විට එය මට ලැබීමට පෙර මොහොතේ හැගී යයි. ඇයට අසහන කාරී මොහොතක මට එය දැනෙන්නේ නොසිතාමය. පසුව සසදන විට එය එසේම වී ඇත. සසර බැදීම ඇය විශ්වාස නොකරන මුත්, මගේ අවබෝදයට අනුව මෙය සසර බදීමක් ම වියයුතුය. තෙරක් නොපෙනෙන විශ්වයේ අපේ රහස් කෙතරම් සැගවී ඇත්ද. සම්බන්දතා දුරස් වීම එය තව තවත් ලංකරන මානසික බැදීමක් බවට පත්කරනු ලබයි. 


දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

මෙය මෙසේ විද ගත යුතුව ඇත. දෛවය අපට ලබා දුන් සරදම සුළුපටු නැත. වචනයෙන් දෙකකින් විස්තර කිරීමට නොහැක. ජීවිතය පවතින තාක් කල්, අපි එක්ව ජීවිතය ගෙවනා දිනය එළබෙන තාක්කල් මෙය මෙසේම පැවතිය යුතුය. මේ සමාජය කෙදිනක හෝ අපට එක්වීමට අවසර දෙනු ඇත. එතෙක්  ඇගේ ජීවිතයේ රාමුවක් තුල සිදුවන සිදුවීම් මම උපේක්ෂාවෙන් විදදරාගාමී. සම්බන්දතවයකදී එක් පාර්ශවයක්, දැන දැනම නොපතන සියල්ල ඉවසීමට, මට උපේක්ෂාව පුරුදු කල ඇදුරුතුමිය සැබවින්ම ඇයයි. ඒ ඉවසීම තුලම ඇගේ සහ මගේ බැදීම තවත් වැඩි කරනු ඇත. ඒ ඉවසීමේ වේදනාව දිනක මාත් ඇයත් එක්කරනු ඇත. එතෙක් හසරැල් නගමින් සොම්නසින්, ප්‍රේමය  විදීමට ඇයටත් මටත් අවසර.

Congrazz u both (y) ආදරෙයේ සැබෑ සතුටින් එය විද දරා ගනිමි. 

Monday, June 9, 2014

උඩු ගුවනට

සමනල කන්ද මුදුණට පියබනුව       රිසී

ඇරබුනු ගමන් මග අද මම තනිව     යමී
බබර කන්ද මුදුනත් පසු කර         ඇදුණු
හිම කදු අතර සුව උණුසුම මම      පතමී



නුඹ මා අතර ඇත්තේ ඔහු         පමනමද
නුඹ මා හැදින ගත්තේ ඔහු         නිසාමද 
නුඹ අප හැරගියේ ඔහු               හින්දමද
නුඹ නිවැරදිය මා වැරදිය සියලු      තැන



සීතල සිසිල විදුමට නුබේ රිසිය        දනී
දහදිය රශ්මි අතරින් මට සුවද         වූණි
ආදරණිය මිනිසුන් තනි කරනු        බැරී
මම තනි උවද ඔබ එහි තනි කරනු   බැරී




Thursday, February 13, 2014

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා !!!

වෙනද බඩ පැලෙන්න කන උන් තුන්දෙනා මොකද අද කන්නේ නැත්තේ... මල්ලි කාපන්කෝ.. ඒ අපේ ලොකු අයියාගේ හඩයි... අපෝ මොකෝ මේ මුන් තුන් දෙනා සික් වෙලා.. මොකද ෆිල්ම් එක වැදුනද.. අදහා ගතවත් නොහැක, ඒ ප්‍රේමයෙන් නොසැලී මත් වී සිටින අපේ දෙවැනි අයියාය... අක්කලා දෙන්නාද එහෙන් මෙහෙන් කන වැකෙන සේ ඉහිලුම් නොදෙන බස් දොඩයි.. මා නිසා අරුන් දෙන්නාද අපහාස විදීම මට ඉහිලුම් නොදේ.. එහෙත් ඒ සදහා මට කල හැකි කිසියම්ම දෙයක් නැත.. සමනල සංධ්වනිය අපට කල හදියක්.. මම කල්පනා කලෙමි.. මගේ වර්තමානය මෙන්ම යට ගියාවද හොදින් දන්නා  මලනුවන් දෙදෙන මෙය නැරබීමෙන් කෙතරම් පස්චත්තාප වී ඇත්ද.. එසේ නම් මා කෙසේ විය යුතුද මට පැහැදිලිය.. 


රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා

සුසමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...

උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...


මට ඇය මුණගැසෙන්නේ මීට වසර කීයකදීද යන්න පැහැදිලි නැත... නමුත් මට ඇය මගේම සොහොයුරියක් තරම් කිට්ටුය, කිසිදා හමු නොවූ මිතුරෙකු මෙන් ලෙන්ගතුය... ඇයටත් එසේමයි මට හැගී ඇත.. කෙල්ලෙක් සතුවිය යුතු  සියලුම හොද ගති  ඇය සතුය.. නිවුණු සිත බවනාවක් මෙනි.. හරියටම  "පුණ්‍යා" ට සමානය... එක්තරා අවස්තාවක මට ඇය නැවත ජීවිතයේදී මුණ ගැසෙයි... මම ඇය නැවත හදුනා ගතිමි... පුණ්‍යාගේ පෙම්වතාට මෙන් ඇයද ඇගේ ලග නොවූ, දුර සිටි පෙම්වතාට ආදරය කරනු හා ඇය සතු එම බක්තිය මා ඇස්වලින් විද ගතිමි... ඇය කොන්දේසි විරහිතව ඒ ආදරය වෙනුවෙන් මෝඩියක් ලෙස පෙනී සිටින අකාරය ඇය ගැන හොදින්ම දන්නා මට විශාල පැනයකි.. ඔහුගෙන් කුමන වරද උනද මොහොතින් මොහොත ඔහු අවිශ්වාස වන ලෙස කරුණු ගොඩ ගැසුනද, පළමුව සුසුම් ලන ඈ දෙවනුව පවසනුයේ "මා තරමට ඔහු ගැන දන්නා කිසිවෙකු නොවන බවය"..වදීෂ මෙන් මමද ඔවුන්ගේ ආදරය කියවමින් හද සසල කරගනිමින් සිටීයැයි මට සිතෙයි.. කිසිදිනෙක කෙල්ලෙක් ගැන නොසිතෙන තරමට මැය ගැන විශේෂ කැමැත්තක් මා තුල උද්දීපනය වුයේ කෙසේද? මම තවම විමසමින් සිටිමි.. 


ඉකි ගසා හඬන අතීතයක 

කඳුලු එක්ක ගනුදෙනු කරනා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..


මා ඇගේ මවගේ කුසින් නොයිපදීම හා මා හා ඇය අතර ඇති බැදීම කල්පනා කලයුතුයැයි මට සිතියි. මා ඇය සමීපයටම පැමිණ පසුව ඇගෙන් දුරස් උනි නම්, ඒ දුරස් වීම තුල නැවත ලං කරගන්නා සම්බන්දයක් ගොඩනැගී ඇත්නම් එයටත් හේතුවක් තිබිය යුතුය.. සංසාර ගත බැදීම් තුල කෙසේ හෝ තමා සතු කරගැනීමට උත්සහයක් ඇත් නම්, මා එයට ඇගේ ජීවිතයේ සිටින හොදම උදාහරණය බවට ඇයට නොහැගෙන්නේ මන්දැයි මා නොදනිමි.. අපි ඇසුරු කරන පොත් පත්, බ්ලොග් පත් මත හිද බලන කල මේ පරම සත්‍ය ඇයටද වැටහිය යුතුය. යසෝදරාවක මෙන් මා පසුපස මගේ සෙවනැල්ල වීමට නොහැකි උනාද, මා මෙන්ම ඇයද ජීවිතයේ පසු කරන කඩයිම් තුල අපේ අවසානය එකක්ම විය යුතුයයි මට හැගේ.. හරියට ඉමක් කොනක් නොපෙනෙන මේ විශ්වයේ සැගවුණු රහස් තුල මා සමග ඇය එක්ව ලියනා පුස්තකය මා තනිවම ලියමින් සිටිනේයයි දැන් මට හැගේ... මට පෙනෙන මේ අරුම පුදුම සම්බන්දය තුල යම් දිනක මේ බවයේ ඇය මගේම විය යුතුය.. එතෙක් ඉවසා සිටිය නොහැකිව අඩ අදුරු රළු අහසේ පාවෙන තනිකමතුල මාද පාවෙමින් සිටියි. මෙය මෙසේ සටහන් කරනුයේ සියල්ල පැහැදිලි මා ඇය කෙරෙහි අත්හැරිය නොහැකි බැදීමක සිරවී සිටින නිසාවෙනි. ඇය පිබිදී ලක ලැස්ති වන හිමිදිරියේ මා ඇයට මේ ලියනුයේ ඇයි දැයි යන්න පවා මට වටහා ගත නොහැක. මිනිස් සිත මහා පුදුමාකාරය.. තනි නොතනියට පෙර බවයේ සිටි ඔබත් අද මා ලග නැත.. නන්නාදුරනා පෙම්වතෙක් ලෙස බිහි නොවුයේ මන්ද, ඔබේ ඇස්මානයේ බිහිනොවී දැන හැදින... ඉපදීමට සාප කරමි.. 


හීනෙන් හිනැහි තුන් යම මා රවටා..

මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා

නින්දෙන් ඇහැරී කලුවරේම.. යලි සොයනා..

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...

Monday, October 8, 2012

රෝස කැකුළු

ඈත වෙල්යායෙ එහෙන් මෙහෙන් තණකොළ උලාකන මීහරක් රංචුව හරියට ඇත් රංචුවක් වගේ පේනව. උන් තරු පහේ අවන්හලක නිදහසේ ඉදගෙන කෑම ගන්න වැදගත් ලීලාවෙන් කෑම කනව. චිරි චිරි සද්දෙට වෙව්ලන ජනෙල් අස්සෙන් දාඩිය සුවදට මලකඩ සුවද එකතුවෙච්ච හුළං රැලි මුනේ වැදෙනවා. උදේ ඉදන් මහන්සි වෙච්ච මිනිස්සු ඒ හුළං රැලි වල පහසට මුණ අල්ලාගෙන ඈත අහස දියහයි පුරන් වෙච්ච කුබුරූ දියහ බලාගෙන තම තමන්ගේ කල්පනාවල ගමනෙ යනව. අතරින් පතර කිහිප දෙනෙක් එකතුවෙලා තමන්ගේ ආගිය තොරතුරු කතා කරනව. හිත ඇතුලෙන් එන සමහර සංවේදී සිතුවිලි වචන වෙලා ඒ හුලගටම එකතුවෙලා මගෙ කනටත් වැටෙනව.  ජීවිතේ පැත්තකට දාල උදේ ඉදන් වැඩ කරපු මිනිස්සුන්ට තමන් ගැන හිතන්න හම්බ වෙන වෙලාව මට හිතෙනව. හවස මහව කෝච්චියෙන් අපිත් පැද්දි පැදිදී ගෙදර එනව. ලස්සනට පාට වැටිච්ච ඇත්තටම මාව අදුන ගත්ත ඇස් දෙකක් මගෙ මුණ ඉස්සරහ පැද්දෙන සද්දෙන් කතා කර කර හිටගෙන ඉන්නව. අපි අපේ ජීවිත ගැන කතාකරනව. ප්‍රශ්ණ වලට උත්තර හොයනව. දුක වහගෙන සද්දෙට හිනා වෙනව. මගෙ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනව. වටේ පිටේ හොරෙන් හොරෙන් කතා කරන අහිංසක මිනිස්සු අපේ සද්දෙට නොරිස්සුන් බැල්මවල් දානව හරියට අපි වැරද්දක් කළා වගෙ. ඒ වෙලාවට දෙන්නම කට වහගෙන ජනේලෙන් එලිය බලාගෙන කල්පනාවට වැටෙනව. අපි දෙන්නගේ වටේ අපි නොහිතම ගොඩනගා ගත්ත ගොඩනැගිච්ච බැමි වලින් අපිව ඈත් කරල නේද කියල මට මතක්වෙන්න ගන්නව. ඒ වෙලාවට මම අහනවා අපි මේ තාප්ප කඩමුද කියල. උත්තරයක් නැතිවම එයා ආයිත් කල්පනාවට වැටෙනව. මම ඇත්තටම වැරදියි. හිත හදා ගන්න මම හිතනව.


 මුහුද අඩ අදුරෙ හෝ හෝ සද්දෙට රැල්ල ගහනව හරියට නපුරු මන්තරකාරියෙක් මන්තරයක් ජප කරනව වගේ. රේල් පීලි අස්සෙන් කොහෙද ඉදපු කඩි රැලක් මලානික ගමනින් කඩි ගුලක් ඇතුලට රිංගනවා හරියට මාස ගාණක් මුහුදු ගිහින් කාලෙකට පස්සේ ආයෙත් ගෙදර ආපු ධීවරයෝ ටිකක් ගෙදරට රිංගනවා වගේ.. අයෙත් කාලෙකට පස්සෙ මම බම්බලපිටියේ ඉදන් කෝච්චියේ කොටුවට එනව.. ජීවිතේ අන්තෙටම වැටිච්ච මීට වඩා වැටෙන්න තැනක් නැති අන්ත අසරණ මිනිහෙක් විදියට. ඉවසා දරාගෙන හිටපු දුක එකකට දෙකකට සීමා නොවී ප්‍රශ්ණ ගොඩකින් ඔළුව පුරෝදාල ඔලුව කීරිගහෙන්න රිදෙන ඉරි තලාගෙන යන හැගීමක් හිතට දැනෙන, ප්‍රශ්ණ කියන්න මාව හොදටම තේරුන් ගත්ත කව්රුත් නැති වෙලාවක, සුපුරුදු ආසාවෙන් මම මහව කෝච්චියට ගොඩ වෙන්න ෆ්ලැට් ෆෝර්ම් එකේ බලාගෙන ඉන්නව. ලස්සන හිනාවකින් මෙකප් වැටිච්ච ඒ ලස්සන මූණ මැණික් වගේ දිලිසෙන ඇස් දෙක මට හිතින් මැවෙනව. දැන් එවි කියල හිතාගෙන කළුගල් කෑලි කොන්ක්‍රීට් පොළවෙ හයියට අඩිය තියාගෙන මම ඉස්සරහට යනව. නොහිතම එයා මගෙ මූනට මුණ ගැහෙනව හිතුව විදියටම. ලස්සනට තිබුන ඒ මූණ අදුරු පැහැ ගන්නව. ආ කියල විතරක් කියාගෙන එයා ඉස්සරහට යනව. මාත් කිසි දෙයක් හිතා ගන්න බැරුව කල්පනා කර කර ට්‍රේන් එකට යනව.  



වෙනද මූණු වල කාන්සිය අද ඒ පෙට්ටියේ මිනිස්සුන්ගේ මූණු වල නැහැ. අපි හිට ගත්ත අතට අනිත් පැත්තේ පිරිමි ලමයෙකුයි ගෑණු ලමයෙකුයි සද්දෙන් පෙම් ජවනිකාවක චරිත රග දක්වනවා. වටේටම ඒ වගේ දර්ශන තුන හතරක් පේන්න තියනවා. වෙනද නැති කේන්තියක් මගේ හිතට එනව. මම කේන්තිය යටපත් කරගෙන මූණ හදා ගන්නව. හිට ගත් වනම හිට ගත් එයා කිසිම කතා බහක් නැතිව මලානිකව මාව නොදැක්ක වගේ ඉන්නව. මම හීනෙන් වගේ මට මූණ දෙන්න උන දුක් කරදර එයාට කියනව. ඇහුන නෑහුන ගානට එය හ්ම්ම් විතරක් කියනව. කවදාවත් ඇති වුනේ නැති ලැජ්ජාවක් මගේ හිතට ඇතුල් වෙනව. මෙතනින් බැහැල යන්න යන්න කියන හිතුවිල්ල මගේ හිතට ඇතුල් වෙනව. නැහැ මම ඉන්නව, මම නවතිනව.. එයාගේ මොබයිල් එක අතට අරගෙන එයා එකෙන් කතා කරනව.. හිනා වෙනව.  ඒ බොරුවට, මට කතා කරන විදියෙන්ම තේරෙනවා.. හිත ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. ලජ්ජාශිලී හැගීම හිත ඇතුලෙ කැකෑරෙනවා. තව මොන ලජ්ජාවක්ද මට මම ඒ ලැජ්ජාව හිතින් රහට විදින ගමන් හිතනව. වටේ මිනිස්සුන්ගේ කතා බහ මලකඩ සුවද වෙනද වගේම පේනව දැනෙනව.  මූනේ හැගීම් අමාරුවෙන් යටපත් කරගෙන දූවිලි බැදිච්ච ඒ මේ අතට සද්දෙට පැද්දෙන වීදුරුවෙන් එලියෙ වෙල් යායක් දියහ බලාගෙන ශීට් එකකට අතක් තියාගෙන ඒ මේ අත පැද්දෙන ගමන් මම කල්පනා ලෝකෙ අතරමන් වෙනව.. පපුවට බරක් දැනෙනව. ඒ අතරෙ එයාට ඉද ගන්න ශීට් එකක් හම්බ වෙනව. එයා දෙපාරක් නොහිත ඉද ගන්නව. ටික වෙලාවකින් ඇස පියවෙලා එයා නින්දට බර වෙනව. ලා නින්දෙදි හිතේ තියන සිතුවිලි මූණෙන් පේනව, මම අහල තියනවා. එයාගේ ලස්සන මූණ පැත්තක් වෙනස් වෙලා,   තරහ බවක් මූණෙන් මතුවෙනවා. අදුනා ගන්න බැරි හැගීම් ගොඩක්, මම තේරුන්  ගන්න උත්සහ ගන්නව. මිනිස්සු එහෙ මෙහෙ දගලනවා. එයාට ඇහැරෙයිද?.. මම එයාට නොඇහරෙන්න සද්දනැතිව ඉන්නව. බහින්න ලං වෙන කොට ඉබේටම එයාට ඇහැරෙනවා. කෝල් එකක් දෙන්න එයා මට කියනව. හිත ටිකක් සැහැල්ලු වුනත් පුරුදු නුපුරුදු ලැජ්ජාවෙන් මම කෝච්චියෙන් බහිනවා. ඈත මිරිගුව ලංවෙලා,  නැහැ ඒ වතුර වලක් නෙමයි මිරිගුවක්ම තමයි. අල්ලපු ගෙදර අයියගේ කඩේට ආව ගමන්ම මැසේජ් එකකින් එයා මට කියනව. මම පුටුවකට බර දෙනවා. ඔව් මම දැනගෙන හිටිය. යටි හිත මට කියනව. එයාට රිප්ලයි කරල පුරුදු ගමනින් මම ගෙදරට එනව. ජීවිතේ හැටි ඔහොම තමයි. එන ආත්මේ මම එයාට කලින් කොහොම හරි ඉපදෙනව. ලොකු අදිෂ්ටානයකින් මම ගෙදර එනව.


තුතී ගීතිකාවක බැතිය මවන පවනේ  
තුතී ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්
මේ නෙත් උළෙලට එන්න
ඇතුල් හිතේ තියන රෝස කැකුළු වර්ෂා අස්සෙන් එන්න
අහසේ පැල් බැද සදා බලා හිදිනා
මේ ඉරහද යටදීම ආදරේ විදින්න ජීවිතේ විදින්න
 
ආවේ කොයින්ද එන්නේ කොතැනද
මෙහෙ කව්රුවත් නෑ අහන්න
නොසිතූ මොහොතක මිය යන්නට පෙර මේ හමුවීමම කොයිතරම් උතුම්ද
තෙත් සමනල් පෙළ පාරෙ එන්න
මේ ඉර හද යටදීම ආදරේ කරන්න ජීවිතේ දකින්න
 
ආවේ තනියම යන්නේ තනියම
එනමුදු තනි කවුරුන්ද
සුසුමට වැඩියෙන් සමීප වන්නට මේ ලංවීමේ වෙන්වීමක් කොයින්ද
මේ මානව සුවදේ වෙලෙන්න
මේ ඉර හද යටදීම ආදරේ කියන්න ජීවිතේ හොයන්න

Tuesday, July 24, 2012

සමන් අයියා




කිරි මුට්ටියක් වගේ හඳ පායල. සුදු සේල සළුවක් වගේ වලාකුළු වැලක් හඳ සීතල කර කර හඳට උඩින් යනවා. ඊටත් මෙහායින් වවුල්ලු අඹ දඹ රඹ හොයාගෙන උන්ගෙ ඉන්ෆරෙඩ් සෙන්සර් ඔන් කරගෙන එක රෑනට පියබනවා හරියට සරුංගල් අහසෙ පාවෙනව වගෙ. ඇදපු චිත්‍රයක් දියහ චිත්‍රය ඇදපු කෙනා බලන් ඉන්නවා වගේ මමත් ජනෙල් පියාන් වල වැදීගෙන එන හිරිගඩු පිපෙන සීතල හුළං රැලි වල වේදනාව එකතු වෙච්චි අමුතු ප්‍රබෝධයකින් අහස දියහ ලෝබ කමින් බලාගෙන ඉන්නව. ඉස්සර මේ විදියටම ඇද උඩට වෙලා පැය ගාණක් “අත් නිදහස්” කනේ ඔබාගෙන අපි ජීවිතේ බෙදා ගත්ත හැටි මට මතක් වෙනව. එදා නුහුරු හිරිගඩු අද ආයෙ ආයෙත් මගේ ඇගට දැනෙනව. ගතත් හිතත් අතර තියෙන වෙන් වෙන්නේ නැති බැදීම මට දැනෙන්න ගන්නව.  එහෙම දවස් වලට මම තුෂී ගෙන්  “ඔයාට අහස පේනවද රත්තරන්” කියල අහනවා. එයා ඒ කොනෙන්, මම මේ කොනෙන්, අපි දෙන්නම හඳ දියහ බලාගෙන කතා කරනවා. ඒත් කවම දාකවත් මම තුෂී ව හඳට උපමා කරලා නැහැ. ඒ හඳේ ලප තියන හින්ද නෙමයි හ දවසින් දවස වෙනස් වෙන හින්ද.  අද මොනදේ වෙලා අපි වෙන් වෙලා තිබුනත් එදා තුෂිත් එක්ක ගත කරපු කාලේ මතක් වෙනකොට ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙනව. ගතින් අපේ මතක බස් එකට, කෝච්චියට, පන්සලට, ක්ලාස් වලට සීමා වුනත් නොව්නත් හිතින් අපි එකටම ජීවත් වුන ඒ ලස්සන අතීතය ඇත්තටම මේ පුරහඳ පායල තියන ලස්සන නිල් කටරොඩු අහස වගේ මතක් වෙන  හැම මොහොතකම සැහැල්ලුවෙන් පුරවනව.

වටේම අහස උසට අහස නොපෙනෙන තරමට බිල්ඩින් පිරිල. වාහන හෝන් සද්දෙට කන් බීරි වෙන තරං. උදේට මාලබෙන් පටන් ගන්න ට්‍රැෆික් එක එදා වගේම අදත් තියනවා. ගම්පහ මාතර බස් එක නුගේගොඩ හරහා යන පාරෙන්ම මාස හයකට විතර පස්සෙ මම තාත්තත් එක්ක කොළඹ යනව. මාතර බස් එකේ අචල අයියගේ සාඩින් පැකින් මෙතඩ් එක මතක් වෙනව. ඒ කාලේ පන්ති යනකොට අචල අයිය සීට් වල ඉන්න අයට අමතරව පෝලිං තුනක්වත් දානවා බස් එකේ මැදට. මතක් වෙන කොටත් ඇඩෙනවා. හිතේ අලුත් බලාපොරොත්තුත් එක්ක මම සැහෙන්න දුක් විදලත් ලබාගන්න බැරිවෙච්ච හීනයක් පස්සේ තාත්තගේ උදව්වෙන් වෙනස්ම සමාජයකට අඩිය තියන්න යනව.  තාත්තත් වාහන අස්සෙන් අමාරුවෙන් වාහනේ බේරාගෙන ගෙනත් නැවැත්තුව කොළඹ මැද්දෙ තියන ලොකු බිල්ඩින් එකක් ඉස්සරහ. තට්ටු දොළහක් විතර අහස පැත්තට යන්න ටිකක් වටකුරු වෙච්ච බිල්ඩින් එකක් ඒක. පාට පාට බෝර්ඩ් පිරිල වටේටම. ගහක් දෙකක් ඇරුනහම වටේම කොන්ක්‍රීට් තට්ටු අහස බදාගෙන හරියට කෙලින් අතට ගහපු පිට්ටු වගෙ. “දයිය උබට ඩේටින් කරන්න කෙල්ලෙක් සෙට් වේගන එන්නේ. ඊයෙ පෙරේදත් ගියා මචන් අපි ක්ලබින්, උබත් සෙට් වෙයන්. අන්න අර කෙල්ල. උබ අහයි කියල ඉන්නේ, උබ අහපන්.” මාස තුනකට විතර පස්සෙ මට පෝෂා කිව්ව වචන මතකයි. එයා සයිබීරියා. මම කිව්වා “බලමුකෝ බලමුකෝ” කියල. “සිරා කරන්න ඕනි නෑ බන් ඒකිත් එක දන්නවා, දන්නේ නැද්ද ඉතින් රව්මක් දෙකක් දාල ටික දවසකින් ප්‍රශ්නයක් නැතුවම සේපරේට් වෙන්න පුළුවනි” කියල, පැනපු ගමන් මගේ හිතේ තියනදේ අදුන ගත්ත වගේ පෝෂා කියපි. මට ඉතින් කියන්න හිතුන “`කොහොමත් ඕක සිරා කරන්න වෙන්නේ නෑ බොලං, ඔය සක්කර වට්ටම අපේ අම්ම දැක්කොත් මාව ගෙදරිනුත් පන්නනවා කියල.`” එත් මම එක වහගෙන කිව්ව “හරි පොෂා අපි බලමු බලමු” කියල. අනේ අනිච්චන් ඒ පොශාලගේ පොෂ් ඩේටින්. පොඩි ආඩම්බරේකුත් ආව “ශහ් යකෝ ලංකාවත් දැන් පුංචි එංගලන්තයක් වෙලානේ, ඩේටිනුත් නැගල යනවා නේ කියල.”

අඩි පහක් විතර වටේ ලොකු ගහක කදක් කඩේ පොලවෙන් උඩට මතුවෙලා දෙවැනි තට්ටුවේ ස්ලැබ් එකත් විදගෙන කඩේ වහලෙනුත් උඩට නගිනව. සුවිශාලෙට අතුබෙදුනු ගහ හැමදාමත් උදේ හවස රටේ හතර දිබ්බාගෙන් කෝච්චියෙන් කොළඹට යන එන අය දියහ බලාගෙන හුළගට වැනි වැනී හුදකලාව හුස්ම ගන්නවා කියල මට හිතෙනව. දවල් කෑම වෙලාවත් ඉවර නිසා වේටර් අයිය පුටුවක ඉදගෙන නිස්කාන්සුවේ බලාන ඉන්නව. තාත්ත නැති දවසට ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන්න කොටුවට එන හැමදාකම වගෙ මම මේ කඩ පේලියට ගොඩ වෙනවා. වේටර් අයිය සමන් මාව දැක්ක ගමන් පුටුවෙන් නැගිටලා “ආ සර් මොනවද අද කන්නේ” කියල අහනව. “මොනවද බං අයියෙ ඉතින් වෙනද කන පරාටේම තමයි” මම හිනාවෙවී කියනව. මිනිහත් සිරියාවන්ත හිනාවක් දාගෙන ඇතුලට ගිහින් පිගානක පරාට දෙකයි, බිත්තර රොටියි කපල මිරිස් හොද්දත් එක්ක පරිප්පු ටිකකුත් පදමට දාගෙන එනව. ලගදි දවසක ඔහොම කකා ඉන්නකොට මිනිහ මගේ ඉස්සරහින් ඉදගෙන හෙන අප්සට් එකෙන් පාර දියහ බලන් ඉන්නව. මම ඇහුව මොකද සීන් එක සමන් අයිය කල්පනා කරන්නෙ කියල. “නෑ මම මේ කල්පනා කර කර ඉන්නේ උදේ හවහ මෙච්චර ගෑණු ළමයි යන එන තැන ඉන්න මට කවද නං කෙල්ලෙක් හරි යයිද කියල” සමන් අයිය අහිංසක හිනාව දාගෙන කියවගෙන යන්නව.  “එතකොට අර පීපල්ස් පාර්ක් එකේ පොත් කඩේ ගෑණු ළමයට මොකද උනේ.” මාත් ලා හිනාවක් දාගෙන අහනවා. එයා ගියා සුමානෙ දවසක් මේ කඩේ ඉස්සරහැදීම මට බැන්න මහත්තයො “තමන්ගේ තත්වේ දැනගෙන වැඩ කරනව, ඕනේ නැති දේවල් වලට එන්න ලෑස්තිවෙන්න එපා අයිසෙ කියල.”  “තාත්තට අසනීප උනායින් මම මේ කොළඹ ඇවිත් චර්ටර් උනාට ගමේ දුප්පත් උනත් හොදට ජීවත් වෙච්චි පව්ලක කොල්ලෙක්. සිගරට් හාරසීයක් විතර අතින් කන්න එන අයට දුන්නත් සිගරට් එකක් බොන්නේ නෑ සර් මම. හම්බ වෙන සල්ලි වලින් ගෙදරට ගාණක් යවල ඉතුරු වෙන ටික මම නාස්ති කරන්නේ නැහැ පොතේ දානව. කැකිරාවෙන් මෙහෙ මාකට් එකට එන ලොරියක මම අඩුවට මල්ලිට එළවලු යවනවා එහෙ විකුනන්න.” සමන් අයිය කියනව. මට මාර සතුටුයි “ශා මරුනේ සමන” මට කියා වුනා. “ඒත් මහත්තයො මෙහෙ ළමයි රැවටෙන්නෙ පිට ඔපේට, කමක් නැහැ ඒ ඒ ළමයාගෙ කැමැත්ත. අපිටත් දවසක හද පායයිනෙ සර්” සමන් අයිය අහස දියහ බලාගෙන කියනව. “සමන් අයියට වරදින්නේ නැහැ අයියෙ” පිටට තට්ටුවක් දාල මම කිව්ව. මටත් ඉන් එහා කියන්න දෙයක් නැහැ, තාත්ත කන්න කියල දීපු සල්ලි වලින් බිල ගෙවල රුපියල් විස්සකුත් සමන් අයියගේ අතේ තියල තාත්තට පින් දීල කඩෙන් එලියට බැස්ස. හවසට මූසල වැහිබර කොළඹ අහස සමන් අයිය වැඩ කරන කඩේ ගහ උඩට කඩා වැටෙන්න වගෙ බරවෙලා.

“මලානික වැහි බින්දු වැටිල, දූවිලි පැහැ වැටුණු කෝච්චිය මත ලස්සන රටා මවාවි. තවත් පැය කිහිපයකින් කොළඹ අදුරෙන් ගිල ගනීවි. සමන් අයිය පාන්දර වෙනකන් නිදි නැතිව කඩේ වැඩ කරාවි. රෑට නිදි නැති කොළඹ තෙරක් නොදකින ජීවිත මලානික වැහි පොදට අහුවෙලා පාට පාට ලයිට් අතර  දියවෙලා යාවි. රට වටේ අහිංසක කුරුල්ලො කිරිල්ලියො බකමුණු සද්ද අතරේ නින්දෙන් ඇහැරිලා එහෙන් මෙහෙන් වැස්සට තෙමුණු හිරිගඩු පිපුණු තටු සල සලා කිචි බිචි සද්දෙන් මුමුනාවී.” කෝච්චියේ එන ගමන් මට රේල්පීලි අතරෙත් සමන් අයියගේ දුක්බර අදිෂ්ඨානය පිරිල ඉතිරිලා යන මුණ පේන්න ගත්ත. මොකක්දෝ දුකක් හිත වෙලා ගන්න අතරේ “නැහැ උට වරදින එකක් නැහැ” මගේ හිතට ආව. “මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. පොල්ගහවෙල දක්වා දාවනය වෙන.....” මම දුකින් කෝච්චියෙන් බැහැගත්ත. තුෂිලගේ ගෙදරත් පහුකරගෙන බස් එකේ ගෙදර ආව. අදත් හ
 තියේවි කියල හිතාගෙන ඇදට වැටුන. 




Monday, July 9, 2012

අහිංසකයෝ


ඇය ඉතා ප්‍රිය මනාපය, සුන්දර ගතිපැවතුම් ඈ ගැටෙන සමාජයෙන් ඇය උසස්තලයකට ගෙන ඒමට සමත්ය. ඇගේ අති සුන්දර කටහඩ මා සිත් ගත්තේ මීට අවුරුදු කිහිපයකට පෙරය. නමුත් මා ඇගෙන් බලාපොරොත්තු නොවූ දෙයක් අන්තර්ජාලයේ ගැටෙද්දී මම දුටුයෙන් මා කලබල වුනා යයි කීවොත් නිවැරදිය. "Love Story ගැන කතා කර කර සිටි ඇය මෙන්න ජීවිතය ගැනත් කතා කරනවා" මම මටම කියා ගත්තේය. ඇය නමින්  Taylor Swift නම් විය. “No matter what happens in life, be good to people. Being good to people is a wonderful legacy to leave behind.” මට තේරෙන විදියට එය "ජීවිතයේ කුමක් සිදු වුවත් මිනිසුන්ට හොදම දක්වන්න, එය ඔබ ජීවිතයේ ඉතිරි කර යන විශ්මිත උරුමයකි " යන්නයි. අවුරුද්දක් දෙකක් වැඩිමල් වුනද ඇය ඇමරිකාවේ නොයිපදී ලංකාවේ ඉපදුනා නං යයි මට සිතුනි. 
ජීවිතයේදී අනිත් අයට කරුණාව දක්වන්න නැතහොත් සමාජ සේවයට ගොස් සිදුවූ ඇබැද්දි මටනං එමටය. "පුතේ කෙනෙක්ට උදව්වක් කරනවා නං හරි සලකනවා නං හරි හොදයි, එත් එකෙන් අහන්න වෙන කතා ටික ඉවසන්න පුළුවන් නං විතරක් ඒ දේවල් කරන්න, නැත්නං නොකර ඉන්න."  ඒ වගේ වෙලාවට තාත්ත මට කිව්ව දේවල් මතක් වෙනව. මූණ සීරියස් විදියට හදාගෙන, කල්පනාවට බර වෙලා එයා එහෙම කියන්නෙ එයාගේ අද්දැකීම් වලින් කියල මට හිතෙනේව. තාත්තගෙ පුතානෙ කියල මම හිත හදා ගන්නව. හොදම වෙලත් ජීවත් වෙන්නත් බැහැ ඒත් තමන් කරන දේ හදවතින්ම කරලා හිතට එකගව මිනිස්සු ආශ්‍රය කරලා හදවතින්ම මිනිස්සුන්ට ආදරේ කරලා ජීවත් වෙනකොට මොකක් හරි හේතුවකින් තවත් කෙනෙක්ගේ තරහට හේතු වුනත් ඒ තරහ කෙටි කාලීනයි කියල වගේම, කට්ට කමින් ආත්මාර්ථ කාමීව ලෝකෙට හොද මූණ පෙන්නගෙන ජීවත් වුනොත් එකේ ප්‍රතිපලය ගොඩක් දරුණුයි කියල මම ඉගෙන ගත්තෙත් මගේ තාත්ත මට උදාහරනත් එක්ක පෙන්නලා දීපු කරුණු වලින්. ජීවිතේ ආපහු මුල ඉදල මතක් කරගෙන එද්දි මට තාත්ත ගැන පුදුම තරං ආදරයක් එන්නෙ. ඒකනං මොනදේ වුනත් සදාකාලිකයි. 
සුනිමල් අන්කල් සමග මාත් මැස්ස අයියාත් දොඩමලු වූ අවස්ථාවක සුනිමල් අන්කල් කියාදුන් පාඩම මට අදටත් මතකය. බුලත් විටක් අපිටත් පිළිගන්වා ඔහු කතාවට වැටුණි. එය ඔහුට ඔහුගේ මිතුරෙක් ගැන කලකිරුණු අවස්ථාවකි. "පුතේ මිනිස්සු කට්ටකම කියල හිතන් ඉන්නේ එක හරි නුවණක් කාර කමක් විදියට, හොද මනුස්සය කවදාවත් කට්ට කන් කරද්දී එකට මොකුත් කියන්න යන්නේ නැහැ අහගෙන ඉන්නවා විතරයි. ඒත් අපි දන්නවා මේ කට්ට කම කියල. අපි ඒ මිනිස්සු අදුන ගන්නව වගේම ඒවගේ මිනිස්සු ටිකෙන් ටික ඈත් කරනවා අපේ හිතෙන් වගේම ජීවිතයෙන්. එහෙම අන්තිමට බලාගෙන යද්දි පුතේ කට්ටකම කියන්නෙ මෝඩකම." සුනිමල් අන්කල් බුලත් වලට රතු වූ තොල් වලින් එලියට ආ ඒ වදන් මා මනසේ රැදුනේ අන් කිසිවක් නිසා නොව එය සැබවින්ම මටද වචනයට නැගීමට නොහැකි හැගීමක්ව තිබුණු නිසාය. සුනිමල් අන්කලුත් පට්ට කතා කියනව නේ.එලියට පැමිණි විට මැස්ස අයිය කියාගෙන ගියේය. එය ඔහුගේත් සිත් ගත් බව මුනෙන් දිස්විය. 
ප්‍රේමරත්න සර් කියන්නෙ උසස්පෙළ කරන කලේ මගේ පන්ති බාර ගුරුතුමා. එතුමා ගැන කියනවනං පොතක් උනත් ලියන්න පුළුවන්. ඒ තරමට එතුමා අපිව යාලුවෝ වගේ ආශ්‍රය කලා. ඉස්සෙල්ල කිව්ව විදිය  කට්ට මිනිස්සු ගැන, ලෝකෙට එකක් පෙන්නන් ඉන්න මිනිස්සු ගැනම එතුමා අපිට කිව්ව කතාව ලියන එක එතුමාට අපහාසයක් නොවේවා කියල හිතල මම ලියන්නන්. මොකද අපි කියල කිව්වේ හතළිහකට අඩු කොල්ලෝ විතරක් හිටපු පන්තියේ තමයි මේ කතාව කිව්වේ. "පුතේ උබල දන්නවද හන්සයගෙයි මොනරගෙයි වෙනස?" අපේ කට්ටියත් සර් ට උනත් දෙවැනි වෙන්න කැමති නැති නිසා කියනව " ඔව් සර්" "හංසයා සුදු  පාටයි, මොණර පාට පාටයි" "හංසයා තිළිනයගේ කෑල්ල වගේ මොණර නුවගේ කෑල්ල වගේ" සර්ටත් හිනා. සේරම අහන ඉදල සර් කියනව "කොල්ලනේ හංසයා පීනන කොට හරි ලස්සනයි, ඌ වතුරෙන් කිරි වෙන් කරලා ගන්නව, ඒ වගේම මොණරත් ලස්සනයි. හැබැයි මොණර පිල් විදාගෙන නටනකොට ඉස්සරහින් ලස්සනයි වගේම ඌ දන්නේ නැහැ ඌ පිල් විදාගෙන නටනකොට අදොමුඛය පිටිපස්සෙන් එළියේ කියල." නැවතිල්ලේ හිතල බලනකොට ඒක ඇත්තම ඇත්ත නේ කියල අපිටත් හිතුන. "ඉතින් අදෝමුඛය එළියේ දාගෙන නටන මිනිස්සු ගැන තරහ ගන්නවත් වයිර හිතන්නවත් ඕනි නැහැ පුතේ අපි දියෙන් කිරි බොන හංසයෝ වෙලා ලෝකෙට පෙන්නමු කියල" සර් එදා අපිට කිව්ව පාඩම අපිට ආර්ථික විද්‍යාවේ වෙළදපොල ආර්ථිකය පාඩමට වඩා වටිනවා කියල හිතෙන්නේ අපි එහෙම මිනිස්සු එක්ක ගැටිලා ලබපු අද්දැකීම් වලින් පස්සේ දැන් තමයි. සර්ට සියක් ආයු ලැබෙන්න ඕනි අපිට ජීවිතේ කියල දුන්නට.
කන්ද කෙන්ද කරනු පිනිස: ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය (Youtube Link) 

කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා 
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා 
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා 
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා


ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා 
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා 
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා 
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා 


කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී 
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී